පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටු තත්ත්වයත් සමඟ දෙල්තොට වත්තේ ගල්ලන්තැන්න පහළ කොටසේ පිහිටි ශ්‍රී මුත්තු මාරි අම්මාන් කෝවිල ආසන්නයට විශාල පාෂාණයක් පෙරළී ඒමේ පුවත මුළු රටේම අවධානය දිනාගැනීමට සමත් විය. මෙම පාෂාණය පෙරළී ආ පසු එහි දක්නට ලැබුණු විශේෂිත නිල් පැහැය හේතුවෙන්, මෙය ඉතා ඉහළ වටිනාකමකින් යුත් විශාල මැණික් පාෂාණයක් බවට ප්‍රදේශවාසීන් අතර මෙන්ම සමාජ මාධ්‍ය ජාල තුළ ද දැඩි කතාබහක් නිර්මාණය විය. බොහෝ දෙනා විශ්වාස කළේ මෙය අහඹු ලෙස මතු වූ මහා සම්පතක් බවයි.
ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් භූමියකින් මෙම අද්භූත පාෂාණය හමුවීමත් සමඟ ඒ පිළිබඳව සොයා බැලීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වහාම මැදිහත් විය. ඒ අනුව, නාවුල කාර්යාලයේ පී.ඩී.ඒ.පී. සුබසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් මූලික නිරීක්ෂණ කටයුතු සිදු කරන ලදී. එහිදී වැඩිදුර විද්‍යාත්මක පරීක්ෂණ සඳහා එම පාෂාණයෙන් සාම්පල ලබා ගැනීමට ද පියවර ගැනුණි.
එලෙස ලබාගත් පාෂාණ සාම්පල කොළඹ පිහිටි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රධාන රසායනාගාරය වෙත යොමු කරමින් සියුම් විමර්ශනයකට ලක් කෙරිණි. එම පරීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී ඇත්තේ ජනතාව අතර මහත් ආන්දෝලනයක් ඇති කළ මෙම පාෂාණය කිසිදු මූල්‍යමය වටිනාකමකින් තොර, මැණික් ගුණයක් නොමැති සාමාන්‍ය ගල් පර්වතයක් පමණක් බවයි. ඒ අනුව මෙතෙක් කලක් පැවති කුතුහලය සහ විවිධ මතකයන් විද්‍යාත්මකව අවසන් වී තිබේ.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් නිකුත් කරන ලද මෙම නිල රසායනාගාර වාර්තාව පිළිබඳව ලිඛිතව ගලහ පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත. මෙම තහවුරු කිරීමත් සමඟ, අදාළ පාෂාණය ආරක්ෂා කිරීම සඳහා එතෙක් යොදවා තිබූ පොලිස් මුරපොළවල් සහ විශේෂ ආරක්ෂක විධිවිධාන ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට ද පොලිසිය කටයුතු කරමින් සිටියි.




0 Comments