2009 වසරේදී එවකට මෙරට රාජ්‍ය නායකයාව සිටි මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සඳහා දියත් වූ බරපතළ කුමන්ත්‍රණයකට වත්මන් ප්‍රබල දේශපාලනඥයෙකු සම්බන්ධ වී ඇති බවට අලුත්ම තොරතුරු අනාවරණය වී තිබේ. ලන්ඩන් නුවර පදනම් කරගත් ජාත්‍යන්තර සංවිධානයක් සිය වෙබ් අඩවිය හරහා ප්‍රකාශ කර ඇත්තේ, මෙම සිදුවීමට අදාළ විමර්ශන වාර්තා වසර ගණනාවක් තිස්සේ නීතිපති දෙපාර්තමේන්තුව තුළ යටපත් වී පවතින බවයි. ශ්‍රී ලංකා පොලිසියේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක ප්‍රධානී අජිත් ධර්මපාල මහතා පවසන්නේ, යුද්ධය නිම වීමට ආසන්නව තිබියදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මෙහෙයවූ මෙම ඝාතන සැලසුම පිළිබඳව හමුදා බුද්ධි අංශ වෙත මුලින්ම තොරතුරු ලැබුණු බවයි.
එම තොරතුරු මත එවකට බුද්ධි අංශ ප්‍රධානියාව සිටි කපිල හෙන්ඩාවිතාරණ මහතා විසින් සිදුකළ මෙහෙයුමකදී මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ, ජනාධිපතිවරයා ගමන් ගන්නා ස්ථාන සහ වේලාවන් පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා එවකට විපක්ෂයේ සිටි ප්‍රබල දේශපාලනඥයෙකුට රුපියල් කෝටි දෙකකට අධික මුදලක් ලබා දී ඇති බවයි. මෙම තත්ත්වය හමුවේ ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් පුළුල් විමර්ශනයක් අරඹා සියලු සාක්ෂි සම්පිණ්ඩනය කර තිබුණි.
කෙසේ වෙතත්, මෙම බරපතළ අපරාධ චෝදනාව දේශපාලන තුරුම්පුවක් ලෙස භාවිත කර ඇති බවට ද තොරතුරු වාර්තා වේ. බැසිල් රාජපක්ෂ මහතා මෙම සිදුවීමට මැදිහත් වෙමින් අදාළ දේශපාලනඥයාට එරෙහි සාක්ෂි පෙන්වා ඔහුව එවකට රජයේ පාර්ශවයට එක් කරගෙන ඇති බව සඳහන් වේ. එම දේශපාලන බලපෑම හමුවේ අදාළ පුද්ගලයා එවකට ජනාධිපතිවරයාගෙන් සමාව අයැද පක්ෂය මාරු කර ඇති අතර, දැනට ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රධාන පෙළේ ආසන සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරයි.
රාජ්‍ය නායකයෙකු ඝාතනය කිරීමට තැත් කිරීම වැනි බරපතළ ගණයේ වරදක් සම්බන්ධයෙන් විමර්ශන වාර්තා නීතිපති දෙපාර්තමේන්තුව සතුව තිබුණද, මේ දක්වා එම දේශපාලනඥයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නොමැත. නමුත් මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ වූ බවට සැකකෙරෙන එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් තවමත් බන්ධනාගාරගතව පසුවේ. මෙම පසුබිම තුළ, අදාළ ලිපිගොනු නැවත විවෘත කර දේශපාලන තරාතිරම නොබලා සැකකාර දේශපාලනඥයාට එරෙහිව වහාම නඩු පැවරිය යුතු බවට ජාත්‍යන්තර මට්ටමින් බලපෑම් එල්ල වෙමින් පවතී.

0 Comments