Ticker

6/recent/ticker-posts

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුල ගැටලුව: පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්ගෙන් CIDයට ප්‍රකාශයක්

 

හය ශ්‍රේණියේ සිසුන් සඳහා නිකුත් කරන ලද ඉංග්‍රීසි මොඩියුලවල පවතින ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් අද (22) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවට පැමිණියහ. එහිදී උන්වහන්සේගෙන් පැය දෙකකට ආසන්න කාලයක් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වේ.

ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ උලපනේ සුමංගල හිමියන් අවධාරණය කළේ, මෙය හුදෙක් නිලධාරීන් අතින් සිදු වූ අත්වැරදීමක් ලෙස බැහැර කළ නොහැකි බවයි. දරුවන්ගේ අධ්‍යාපනය සහ අනාගතය අඳුරු කිරීම සඳහා ඉතා සූක්ෂ්ම ලෙස සැලසුම් කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස මෙම දෝෂ සහිත මොඩියුල නිර්මාණය වී ඇති බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

විෂය නිර්දේශයකට අදාළ පොතක් හෝ මොඩියුලයක් මුද්‍රණය කර සිසුන් අතට පත්වීම යනු අදියර කිහිපයකින් සමන්විත ඉතා දීර්ඝ ක්‍රියාවලියක් බව උන්වහන්සේ මෙහිදී සිහිපත් කළහ. අවම වශයෙන් දස වතාවකට වඩා වගකිවයුතු නිලධාරීන් අතින් පරීක්ෂාවට ලක්වන මෙවැනි ලේඛනයක මෙතරම් බරපතළ දෝෂ පවතින්නේ නම්, එය කිසියම් පාර්ශවයක පහත් වුවමනාවන් මත සිදු වූවක් බව උන්වහන්සේගේ අදහසයි.

ජාතියේ අනාගතය බඳු දරුවන් වෙනුවෙන් මෙවැනි වගකීම් විරහිත ක්‍රියාවන් කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, මෙම සැලසුම්සහගත වරදට සම්බන්ධ සියලු දෙනාට නිසි දඬුවම් ලබා දිය යුතු බවත් උලපනේ සුමංගල හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියහ.

Post a Comment

0 Comments