මුලතිව්, චලෙයි කලපුවේ මෝයකට පුළුල් කිරීමේ මෙහෙයුමක නිරතව සිටියදී අතුරුදන් වූ නාවික හමුදා නිලධාරීන් පස්දෙනා අතරින් එක් නිලධාරියෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. මෙම නාවික නිලධාරීන් පිරිස පසුගිය නොවැම්බර් මස 28 වැනි දින කලපුවේ මෝයකට ආශ්‍රිත වැලිපර ඉවත් කිරීමේ මෙහෙයුමකදී අතුරුදන් විය.
ආරක්ෂක අංශ විසින් ගොඩබිම සහ ගුවනින් සිදු කරන ලද පුළුල් සෝදිසි මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස කලපුවේ සිට කිලෝමීටර් 05ක් පමණ දුරකින් තිබී අතුරුදන් වූ නිලධාරියෙකුගේ සිරුර සොයා ගැනීමට හැකි විය. මෙසේ හමුවී ඇත්තේ දඹුල්ල, පැල්වෙහෙර ප්‍රදේශයේ පදිංචිව සිටි නායක විදුලි කාර්මික ඩී. එම්. කේ. එම්. දිසානායක මහතාගේ දේහය බව ඥාතීන් විසින් හඳුනාගෙන තිබේ. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමාන්ඩර් බුද්ධික සම්පත් මහතා ද ඒ බව තහවුරු කළේය.
පසුගිය දෙසැම්බර් 01 වැනිදා සොයාගත් දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (04) දින පූර්ණ නාවික හමුදා ගෞරව සහිතව සිදු කෙරිණි.
කෙසේ වෙතත්, මෙම අනතුරින් අතුරුදන් වූ සෙසු නිලධාරීන් සිව්දෙනා සොයා සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව ආරක්ෂක අංශ පවසයි. ඒ අතර, හංවැල්ලේ පදිංචි උප ලුතිනන් අවිශ්ක ඩිල්ශාන් වෑවිට, වැලිමඩ පදිංචි ක්‍රිෂාන් ධනංජය වික්‍රමසිංහ, මාතලේ නාවුල පදිංචි චතුරංග වික්‍රමරත්න සහ අලුත්ගම කළුවාමෝදර පදිංචි රොෂාන් ශානක යන නිලධාරීන් සිව්දෙනා අතුරුදන්ව සිටී.
මේ අතර, ආපදාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් නාවික හමුදාව අඛණ්ඩව කැපවී සිටින බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ආහාර හා ජලය බෙදා හැරීම, ළිං හා රෝහල් පිරිසිදු කිරීම, විපතට පත් ජනතාව මුදා ගැනීම මෙන්ම කිමිදුම්කරුවන් යොදා ගනිමින් පාලම් සහ ජල පවිත්‍රාගාරවල සිරවී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම වැනි විශේෂ සේවාවන් රැසක් සියලුම නාවික හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදුකරන බවද ඔහු ප්‍රකාශ කළේය.

0 Comments