Ticker

6/recent/ticker-posts

චාමික කරුණාරත්නට එරෙහි පීතෘත්ව නඩුව: DNA වාර්තා ඉල්ලීම සහ උසාවියේ තීන්දුව

 

ප්‍රසිද්ධ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව ගුවන් නියමුවරියක් විසින් ගොනු කර තිබූ නඩුවක් ඊයේ (දෙසැම්බර් 08) දින අධිකරණය හමුවේ නැවත කැඳවනු ලැබීය. මෙම නඩුවේ ප්‍රධාන ඉල්ලීම වූයේ, පැමිණිලිකාරියගේ දරුවාගේ පීතෘත්වය තහවුරු කර ගැනීම සඳහා චාමික කරුණාරත්නගේ DNA වාර්තාවක් ලබා දෙන ලෙසට අධිකරණයෙන් නියෝගයක් ලබා දෙන ලෙසයි.

ගුවන් නියමුවරියක වන සෙව්වන්දි ස්නාධීර නම් තැනැත්තිය විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ. ඇය අධිකරණයට දැනුම් දුන්නේ විවාහ වීමේ බලාපොරොත්තුවෙන් තමන් චාමික කරුණාරත්න සමඟ සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට දාව තමන්ට දරුවකු සිටින බවත්ය. කෙසේ වෙතත්, ක්‍රීඩකයා විවාහ පොරොන්දුව ඉටු නොකළ බවත්, පසුව තමන්ව සහ දරුවාව අතහැර දැමූ බවත් ඇය චෝදනා කරයි. එම නිසා, ඔහු විවාහ නොවන්නේ නම්, දරුවා වෙනුවෙන් නඩත්තු මුදල් ගෙවීමට නියෝගයක් ලබා දෙන ලෙසද ඇය අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජෙරුස තාමිබායියා මහත්මිය, පීතෘත්වය සලකා බැලීම සඳහා DNA පරීක්ෂාවක් කිරීමට නියෝගයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියාය. නමුත් වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල රැකවල මහතා එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කළේය. නීතිඥවරයා සඳහන් කළේ, DNA වාර්තාවක් ලබා ගැනීමට අධිකරණයෙන් බලපෑමක් කළ නොහැකි බවත්, එය ඔප්පු කිරීමේ භාරය ඇත්තේ ඉල්ලුම්කාරියට බවත්ය. එබැවින් වගඋත්තරකරු DNA පරීක්ෂාව කිරීම ප්‍රතික්ෂේප කරන බවත්, පීතෘත්වය ලබාදීම ප්‍රතික්ෂේප කරන බවත් ඔහු අධිකරණයට දැනුම් දුන්නේය. තවදුරටත් කරුණු දක්වමින් වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරයා සඳහන් කළේ, ඉල්ලුම්කාරිය ගැබ්ගෙන සිටි අවධියේ වෙනත් ඉන්දීය ගුවන් නියමුවරයකු සමඟද ඡායාරූප ගෙන ඇති බවයි.

දෙපාර්ශ්වයේම නීතිඥවරුන් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සිද්ධියට අදාළ කරුණු සලකා බැලීම සඳහා නඩුව 2024 ජනවාරි 30 දිනට නැවත කැඳවීමට නියම කළේය. එසේම, වගඋත්තරකරු වන චාමික කරුණාරත්න රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Post a Comment

0 Comments