දැනට පවතින දුෂ්කර කාලසීමාව තුළ, පශ්චාත් ආපදා සහන ලබා දෙන බව පවසමින් ව්‍යාජ දත්ත රැස් කරන්නන් සහ ජාවාරම්කරුවන් පිළිබඳව ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බවට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය දැඩි ඉල්ලීමක් කරයි.
අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, ආපදාවට පත් ජනතාවට සහන සලසන බවට පවසන පණිවිඩ සහ ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු ඉල්ලා සිටින කෙටි පණිවිඩ මේ වන විට WhatsApp, Facebook ඇතුළු විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි. මෙවැනි ව්‍යාජ පණිවිඩවලට නොරැවටී, තම පෞද්ගලික තොරතුරු කිසිදු විටෙක එවැනි පාර්ශ්ව වෙත ලබා නොදෙන ලෙස අමාත්‍යාංශය මහජනතාවට අවධාරණය කරයි.
රජය විසින් ආපදා සහන සඳහා අවශ්‍ය දත්ත රැස්කිරීම සිදු කරනු ලබන්නේ නිල ක්‍රමවේදයකට අනුව පමණි. ඒ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර ඇති ක්ෂේත්‍ර නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් යොදා ගනිමින් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ. එබැවින්, මෙම නිලධාරීන් හැර වෙනත් කිසිවෙකුට හෝ ඔබගේ සංවේදී තොරතුරු ලබා නොදීමට වග බලා ගන්න.
මුළු රටම දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින මොහොතක, අහිංසක ජනතාව නැවත වරක් වංචනිකයන්ගේ ගොදුරු බවට පත් කිරීම වැළැක්වීම රජයේ අරමුණයි. මෙම තත්ත්වය හමුවේ, මෙලෙස වංචා සහ ජාවාරම් සිදු කරන පාර්ශ්වයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය තවදුරටත් අවධාරණය කරයි.

0 Comments