Ticker

6/recent/ticker-posts

💎 රහස් බලයෙන් පිරි රාවණා ගල: ඉන්දියානු ජාතිකයකුට විකුණන්න යද්දී අසුවූ අද්භූත කතාව 😮

 

පසුගියදා ඉන්දියානු ජාතිකයකුට විකිණීමට සූදානම් කර තිබූ අමුතුම ආකාරයේ පාෂාණයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟ, එය වටා ගෙතුණු අද්භූත කතාවක් හේතුවෙන් ජනතාව අතර විශාල කතාබහක් සහ කුතුහලයක් ඇති වී තිබේ. ඇතැමුන්ගේ ප්‍රබල විශ්වාසය වන්නේ මෙය ශ්‍රී රාවණා රජු විසින් ශක්තිය කැවූ අතිශය බලසම්පන්න ගලක් බවයි. දැනට පොලිස් භාරයේ පවතින මෙම පාෂාණය සහ ඒ සමඟ අත්අඩංගුවට ගත් පිරිස සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු වෙමින් පවතින අතර, බොහෝ දෙනා මෙම ‘රාවණා ගල’ ලෙසින් හැඳින්වෙන ගුප්තමය පාෂාණය පිළිබඳ තොරතුරු විමසමින් සිටිති. පාඨක ඔබේ කුතුහලය සංසිඳුවාලීම වෙනුවෙන් අප වෙත ලැබුණු තොරතුරු මෙලෙස ගෙන එමු.


රාවණා රජුගේ ශක්ති කතාව

මහා බලවත් සක්විති රජකු ලෙස දේශ දේශාන්තරවල පවා ප්‍රකට වූ රාවණා රජු නැවත ලංකාද්වීපයේ පහළ වීමේ බලාපොරොත්තුවෙන් සහ එසේ පහළ වූ විටෙක නැවත එකතු කර ගැනීම සඳහා තම ශක්තිය විවිධ වස්තූන්ට කවා ඇති බවට ප්‍රබල රාවණවාදීන් අතර මතයක් පවතී. මෙම ආන්දෝලනාත්මක රාවණා ගල සම්බන්ධයෙන් කතාබහට ලක්වන විට, එම කතාව කිසිසේත් බැහැර කළ නොහැක. කෙසේ වෙතත්, පළමුව මෙම ගල සමඟ පිරිසක් අත්අඩංගුවට පත්වූයේ කෙසේද යන්න විමසා බලමු.


වැටලීම සිදු වූ අයුරු

මෙම සිදුවීම වාර්තා වන්නේ ඉකුත් විසි වැනිදාය. මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු තොරතුරකින් කියැවුණේ අඩම්පන් පොලිස් වසමේ වට්ටකණ්ඩාල් ප්‍රදේශයේ නිවෙසක නිධානයක් සම්බන්ධයෙන් ගනුදෙනුවක් කිරීමට සාකච්ඡාවක් පැවැත්වෙන බවයි. ලැබුණු තොරතුරට අනුව, මන්නාරම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් රංජිත් මහතාගේ උපදෙස් මත පොලිස් අධිකාරී ඩී.ආර්.එස්. ධර්මදාස, ප්‍රධාන පොලිස් පරීක්ෂක කාංචන ජයකොඩි මහත්වරු ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් වහාම එම ස්ථානය වැටලීම සඳහා පිටත් වූහ.

පොලිස් නිලධාරීන් රැගත් ජීප් රථය අදාළ නිවෙසට ළඟා වෙද්දී, එහි සිටි කිහිප දෙනකු නවතා තිබූ මෝටර් රථයකට නැඟී වත්තෙන් පිටවීමට තැත් කර තිබේ. ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලීසිය ඔවුන්ගේ මඟ හරස් කරමින් ජීප් රථය නතර කළ අතර, ඒ මොහොතේ මෝටර් රථයේ පුද්ගලයන් හය දෙනෙක් සිටියහ. ඔවුන් ගමනක් යන බව කීවද, නිධානයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත ඔවුන්ව පරීක්ෂා කිරීමට පොලීසියට සිදු විය.


පූසාරිගේ සාක්කුවේ තිබූ රහස

පරීක්ෂා කිරීමේදී, පිරිස අතර සිටි කොට කලිසමක් හැඳි පුද්ගලයකුගේ සාක්කුවේ මෙම ආන්දෝලනාත්මක රාවණා ගල තිබී සොයා ගැනිණි. ගල අතට ගත් නිලධාරියකු ඒ ගැන විමසූ විට, එම පුද්ගලයා කියා සිටියේ එය තම ආරක්ෂාවට තබාගෙන සිටින වාසනාව ඇති ගලක් බවත්, යන යන තැන ගෙන යන බවත්ය. පසුව මොහු පුල්මුඩේ පදිංචි 48 හැවිරිදි අයකු වන අතර, මෙම ගනුදෙනුවට සම්බන්ධ පූසාරිවරයා ලෙස හඳුනා ගැනිණි.

පසුව පොලිසිය විසින් පිරිස එකිනෙකාගෙන් වෙන වෙනම ප්‍රශ්න කිරීමේදී ගල සම්බන්ධ රහස අනාවරණය විය. පිරිසේ සිටි ඉන්දීය ජාතිකයා මුලින්ම කියා සිටියේ සුළං බලාගාරයක් තැනීමට ඉඩමක් සෙවීමට පැමිණි බවයි. කෙසේ වෙතත්, මෙම පිරිස සාකච්ඡාවට යොදා ගත් නිවෙසේ හිමිකරුට තිබූ රුපියල් කෝටි එකහමාරක පමණ ණය බරට මුදලින් උදවු කිරීමේ පොරොන්දුව මත මෙම කටයුත්තට නිවෙස යොදා ගෙන තිබූ අතර, ඊට මැදිහත් වී ඇත්තේ මෙම පූසාරිවරයාය. ගනුදෙනුවට සම්බන්ධ බව කියන කොළඹ ව්‍යාපාරිකයාද මේ වන විට ව්‍යාපාර බිඳ වැටී අර්බුදයක සිටි අයෙකි. මෙලෙස රාවණා ගල විකුණා ගොඩ යෑමට දැඟලූ පුද්ගලයන් අට දෙනකු එම ස්ථානයේදී පොලීසියට අත්අඩංගුවට ගැනීමට හැකි විය.


රුපියල් කෝටි 3,000ක ගනුදෙනුව

පූසාරිගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔහු කියා ඇත්තේ මෙම බලගතු ගලේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් කෝටි 3,000ක් බවයි. ඉන්දීය ජාතිකයා මෙම ගල රුපියල් කෝටි 500කට මිලදී ගැනීමට පොරොන්දු වී ඇති බවත්, එම මුදල් සියල්ල අන්තර්ජාලය හරහා ගෙවීමට එකඟතාවක් ඇති කරගෙන තිබූ බවත් ඔහු හෙළි කර තිබේ. ඉන්දීය ජාතිකයා පවසා ඇත්තේ තමා මෙම ගනුදුවේ තැරැව්කරුවකු (Broker) පමණක් බවත්, ඉන්දියාවේ සිටින ගැනුම්කරුවකු වෙනුවෙන් සහභාගී වූ බවත්ය.

සැකකරුවන් අට දෙනාම මන්නාරම මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, අධිකරණයේ නියෝගය මත මෙම පාෂාණය මේ වන විට පොලිස් සේප්පුවේ විශේෂ ආරක්ෂාවක් සහිතව තැන්පත් කර ඇත. පාෂාණයේ වටිනාකම තක්සේරු කිරීම සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වාර්තා ලබා ගන්නා ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.


රාවණා ගලේ හැඩරුව සහ හාස්කම්

අත්අඩංගුවට පත් වූවන් පවසන්නේ මෙම ගල පූජා පැවැත්විය යුතු ගලක් බවත්, එය ක්‍රියාත්මක වන්නේ හිරු මුදුන් වන විට බවත්ය. එහෙයින් පොලිස් සේප්පුවේ තිබියදී කිසිදු ප්‍රාතිහාර්යයක් බලාපොරොත්තු විය නොහැකි බව පෙනේ. කෙසේ වෙතත්, සැකකරුවන්ගේ ජංගම දුරකථනවල තිබූ වීඩියෝ පටවලින්ද මෙම ගල පෙන්වන හාස්කම් කිහිපයක් පොලීසියට දැකගත හැකි වී තිබේ.

මෙම පාෂාණය කුරු පොල් ගෙඩියකට මඳක් විශාල, ඕවලාකාර හැඩයකින් යුක්තය. එහි පළල් කෙළවරක් සහ උල් වූ කෙළවරක් දක්නට ලැබේ. ගල වටා සංකේත ලෙස හැඳින්විය හැකි ගුප්තමය රූප කිහිපයක් සහ අඬු තිබෙන ගෝනුස්සකු බඳු රුවක්ද, නෙළුම් පොහොට්ටුවකට සමාන කැටයමක්ද දැකගත හැකිය. සාමාන්‍යයෙන් ග්‍රැනයිට් ගල් වර්ගයක දක්නට ලැබෙන සුදු අංශු සහිත අළු පැහැයක් මෙහි දක්නට ඇතත්, අත්අඩංගුවට ගැනීමට පෙර තිබූ ඡායාරූපවල එය තද නිල් පැහැයකින් යුක්ත වූ බවට තොරතුරු පවතී.


පුදුම කරවන සහ බිය ගන්වන ප්‍රාතිහාර්යයන්

රාවණා ගලට 21 ආකාරයකට ක්‍රියා කළ හැකි බවට තොරතුරු පවතී. සැකකරුවන් සතුව තිබූ වීඩියෝවලට අනුව, මෙම ගල පණ ඇති එකක් සේ හැසිරේ.

  • මිනිසකු අත නොතබා ස්වයංසිද්ධ ලෙස චලනය වීමේ හැකියාව.

  • මුහුණ බලන කණ්ණාඩියක් ඉදිරියේ තැබූ විට කණ්නාඩිය තුළින් නොපෙනීම.

  • පූජා පවත්වා සුදු පිරුවටයක් මත තබා රන් ආභරණයක් සමීප කළ විට චලනය වීම.

  • විදුලි එළිය සහිත තැනකදී ඉහළට එසවූ විට විදුලිය විසන්ධි වීම.

  • වතුර වීදුරුවකට දැමූ විට වතුර සහ කිරි බඳුනකට දැමූ විට කිරි නටා උතුරා යෑම.

  • සේප්පුවකට දැමූ විට අගුළු පද්ධතියේ අක්‍රමිකතා ඇතිවීම.

කෙසේ නමුත්, මෙම ගුප්තමය බලගතු පාෂාණය වටා පවතින තොරතුරු අතර බිය ගන්වන කරුණුද ඇත. මෙම ගල ළඟ තබා ගන්නා අයට, ඔවුන්ගේ නිවෙස්වලට සහ පවුලේ අයට තදබල කරදර, අනපේක්ෂිත ඝාතන හෝ අනතුරු, ව්‍යාපාර බිඳ වැටීම්, රෝගාබාධ සහ සිහි විකල් තත්ත්වයන් පවා ඇතිවිය හැකි බව කියැවේ. එයට හේතුව මෙම ගලට බලගතු ආත්මයක් බඳවා ඇති බවට කතාවක් පැවතීමයි. එම නිසා, මෙය සන්තකයේ තබාගත් පාර්ශ්වයන් අඩු මුදලකට හෝ එය විකුණා ගැනීමට උත්සාහ කර ඇති බව හෙළිදරව් වී ඇත.


'ඩමියක්' ද නැතහොත් සැබෑ ගල ද?

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලැබීමත් සමඟ ඇතැම් නිර්නාමික පාර්ශ්වයන් පවසා සිටියේ පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ නියම බල ගල නොවන බවයි. මෙම පාෂාණය විකිණීමේ කොන්ත්‍රාත්තුවට මැදිහත් වූ බලවත් ව්‍යාපාරිකයකු නියම ගල වෙනුවට ඩමියක් නිර්මාණය කර ඇති බවත්, පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ එම ව්‍යාජ ගල බවත් ඔවුන්ගේ අදහසයි. ව්‍යාජ පාෂාණයක් නම් එයට කිසිසේත් ප්‍රාතිහාර්යයන් දැක්වීමට නොහැකි බව ඔවුන් පෙන්වා දෙති.

තවත් තොරතුරු අනුව, මෙම ගල මුලින් හිමිව තිබී ඇත්තේ හපුතලේ පදිංචි ද්‍රවිඩ පවුලකට වන අතර, පසුව එය කේරළයට ගොස් නැවත මෙරටට පැමිණ තිබේ. තමන්ට ඇති වූ කරදර දුරු කර ගැනීමට එම පවුල විකිණීමට තැත් කළ අවස්ථාවේ කොළඹ ව්‍යාපාරිකයාද එයට සම්බන්ධ වී ඇත. එසේම, වරෙක අප්‍රිකානු රටක රජ කෙනෙකුද කෝටි ගණනක මුදල් ගනුදෙනුවකින් මෙය ගැනීමට උත්සාහ කර තිබුණද, ගුවන් යානයකින් ගෙන යෑමේදී අනතුරක් සිදුවෙතැයි යන බිය හේතුවෙන් ගනුදෙනුව ඇනහිට ඇති බව පැවසේ.

කෙසේ නමුත්, මෙවැනි බලගතු වස්තුවක් තබා ගත හැක්කේ බලවන්තයකුටම පමණක් බවට වන විශ්වාසයක් පවතී.

Post a Comment

0 Comments