Ticker

6/recent/ticker-posts

අනාගතයේ අනවසර ඉදිකිරීම් වලට ඉඩක් නෑ: ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගෙන් අනතුරු ඇඟවීමක්

 

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා අවධාරණය කළේ ඉදිරියේදී අනවසර ඉදිකිරීම් සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්, ඒ සඳහා අදාළ නීති ශක්තිමත් කරන බවත්ය. එසේ නොවුණහොත් මීට වඩා දැඩි ව්‍යසනයකට රටට මුහුණ දීමට සිදුවනු ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.


නීතිමය ප්‍රතිපත්ති සකස් කිරීමට නව ඒකකයක්

මෙම අනවසර ඉදිකිරීම් ගැටලුව සඳහා ස්ථිර විසඳුම් සෙවීමේ අරමුණින්, ඉදිරියේදී යළි ගොඩනැගීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ නීතිමය ප්‍රතිපත්ති සකස් කිරීම වෙනුවෙන් වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. මෙම නව ඒකකය මගින් අදාළ ගැටලු සඳහා කඩිනමින් විසඳුම් සෙවීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.


කුරුණෑගල මාර්ග සහ යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම

ආපදා තත්ත්වය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ හානි වූ සියලු පළාත් මාර්ග සහ ප්‍රාදේශීය සභා මාර්ග, ඉදිරි සති 02ක් තුළ සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර ජනතාවගේ ගමනාගමන කටයුතු සඳහා විවෘත කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.

ඒ වෙනුවෙන් දැනට වෙන් කර ඇති ප්‍රතිපාදන යොදවන ලෙසත්, දෙසැම්බර් 31 දිනට පෙර අවසන් කළ නොහැකි මාර්ග පිළිබඳ තොරතුරු සහ අවශ්‍ය ප්‍රතිපාදන දැනුම් දෙන ලෙසත් උපදෙස් දුන් අතර, 2026 වසරට අදාළව එම ප්‍රතිපාදන වෙන් කර දීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ආපදාවෙන් දිස්ත්‍රික්කයේ A හා B ශ්‍රේණියේ පළාත් මාර්ග 1,181කට, පාලම් 35කට, බෝක්කු 162කට සහ පැති බැමි 01කට හානි සිදුව ඇති අතර, ඒවා කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු විය.

එමෙන්ම, ආපදාවෙන් බිඳ වැටුණු විදුලි සැපයුම, ජල සැපයුම සහ සන්නිවේදන පහසුකම් ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී විමසා බලන ලදී. සේවා සපයන ආයතනවල වගකීම වන්නේ අවසාන පාරිභෝගිකයා දක්වා එම සේවාවන් ලබා දීම බව අවධාරණය කළ ජනාධිපතිවරයා, පවතින බාධා ඉවත් කර ගැනීමට අදාළ ආයතන සමඟ මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.


හානියට පත් කෘෂිකර්ම සහ ගොවි ජනතාවට සහන

ආපදා තත්ත්වය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර් 12,729කට පූර්ණ හානි සිදුව ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ. ඉන් හෙක්ටයාර් 7,215ක් යළි වගා කළ හැකි මට්ටමේ පවතින අතර, 5,514ක් වගා කළ නොහැකි තත්ත්වයක පවතී. ජල සැපයුම නොමැතිවීම නිසා කුඹුරු අස්වැද්දිය නොහැකි නම්, ඒ සඳහා තාවකාලික ජල සැපයුම් ලබා දීමට ජල සම්පාදන මණ්ඩලයට උපදෙස් දුන් ජනාධිපතිවරයා, වගා කළ නොහැකි කුඹුරු ප්‍රමාණය හැකි තරම් අඩු කර ගනිමින් ඒවා අස්වැද්දීමට කටයුතු කරන ලෙස උපදෙස් දුන්නේය.

තවද, ගොවීන් වෙත බිත්තර වී සහ පොහොර ලබා දීමේ වැඩපිළිවෙළ පිළිබඳවද විමසා බැලූ අතර, බඩ ඉරිඟු, එළවළු සහ අතිරේක බෝග වගාවන්ට සිදුව ඇති හානිය සහ එම ගොවි ජනතාව වෙත වන්දි ලබා දීමේ ක්‍රමවේදය පිළිබඳවද අවධානය යොමු විය.


පශු සම්පත් ගොවිපොළ සහ පුනරුත්ථාපන කටයුතු

දිවයින පුරා සත්ත්ව ගොවිපොළ පිළිබඳ නිවැරදි දත්ත පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ සඳහා පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් ඒවා සකස් කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කළේය. ගොවිපොළ නිසි ලෙස ලියාපදිංචි වී නොතිබීම වන්දි ලබා දීමේදී ගැටලු ඇති කරන බවද පෙන්වා දුන්නේය. එම නිසා රට පුරා සත්ත්ව ගොවිපොළ පිළිබඳ දත්ත එක් පද්ධතියකට ගෙන, නැවත සමාලෝචනයක් සිදු කරමින් වන්දි ලබා දීම් පිළිබඳව කඩිනමින් ප්‍රතිපත්තිමය තීරණයකට එළඹෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

තවද, ළිං පවිත්‍ර කිරීමේ කටයුතුවල ප්‍රමුඛ වගකීම ප්‍රාදේශීය සභාවලට පැවරෙන බවත්, ත්‍රිවිධ හමුදාවේ සහ ස්වේච්ඡා සංවිධානවල දායකත්වය ලබා ගනිමින් එම කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසත් ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට දැනුම් දෙන ලදී.


නිවාස සහ අනෙකුත් ක්ෂේත්‍ර

ජනතාව යළි පදිංචි කිරීම සඳහා ඉඩම් හඳුනා ගැනීම සහ හානි වූ නිවාස සඳහා වන්දි ලබා දීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා විය. වන්දි ලබා දීමේ කටයුතුවලදී සහ ජනතාව යළි පදිංචිකිරීමේ කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම්වරු පූර්ණ ලෙස මැදිහත්විය යුතු බවටද උපදෙස් දෙන ලදී.

මීට අමතරව, මිරිදිය ධීවර කර්මාන්තය යළි නඟා සිටුවීම, සෞඛ්‍ය සේවයේ අවශ්‍යතා මෙන්ම පාසල් යළි විවෘත කිරීමේ කටයුතු පිළිබඳවද සාකච්ඡා විය.


පරිත්‍යාග සහ සහභාගීත්වය

මේ අතර, නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් සිය විහාරස්ථානයට අයත් අක්කර 20ක ඉඩමක් ලබා දීමට මැද්දේකැටිය, ගොකරැල්ල, සංගමු රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය අලුත්ගම මංගල ස්වාමීන් වහන්සේ කටයුතු කර තිබීම විශේෂත්වයකි. ඊට අදාළ ලිපි ලේඛන මෙහිදී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.

එමෙන්ම, වයඹ පළාත් සමූපකාර සමිති, සංගම් සහ සාමාජිකයන් එක්ව ලබා දුන් රුපියල් ලක්ෂ 100ක මූල්‍ය පරිත්‍යාගය සහ ගෝකරැල්ල හාල් මෝල අධිපති එස්.එම්. වසන්ත සමරකෝන් මහතා විසින් සිදු කළ පරිත්‍යාගයද ජනාධිපතිවරයා වෙත භාර දෙන ලදී.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු, මන්ත්‍රීවරු, පළාත් පාලන නියෝජිතයන්, අමාත්‍යාංශ ලේකම්වරු සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post a Comment

0 Comments