Ticker

6/recent/ticker-posts

ඊශානදිග මෝසම සක්‍රීය වෙයි: දෙසැම්බර් 9 න් පසු වැසි සහ සුළඟ වැඩි වන බවට අනතුරු ඇඟවීම්

 

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, දැනට දිවයිනට බලපා ඇති ඊශානදිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9, 10, සහ 11 යන දිනවලදී දිවයින පුරා වර්ෂාපතනය සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවයි. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසන්නේ, මෙම කාල සීමාව තුළ සුළඟේ වේගයද වැඩිවිය හැකි බවයි. කෙසේ වෙතත්, අන්තර් මෝසම් කාලගුණයට සාපේක්ෂව මෙම ඊශානදිග මෝසම යටතේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ප්‍රවණතාව අඩු බවද ඒ මහතා සඳහන් කරයි.

මෙම ඊශානදිග මෝසම් කාලගුණය සක්‍රීය වීම නිසා උතුරු, උතුරු මැද, වයඹ, නැගෙනහිර, සහ ඌව පළාත්වලට දෙසැම්බර් 9 වනදායින් පසුව වැඩිම බලපෑමක් එල්ල වනු ඇත. එම ප්‍රදේශවල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට අනාවැකි පලවන අතර, අහස නිරන්තරයෙන් වලාකුළින් බරව පවතිනු ඇත. මේ ප්‍රදේශවල මිලිමීටර් 75 සිට 100 දක්වා වූ තද වැසි ඇති වීමේ අවදානමක් පවතී.

දිවයිනේ සෙසු පළාත් සම්බන්ධයෙන් සලකා බලන විට, විශේෂයෙන්ම නිරිතදිග කොටසේ මෙම කාලසීමාව තුළ ගිගුරුම් සහිත වැසි නොමැති වුවද, සාමාන්‍ය වැසි තත්ත්වයන් අපේක්ෂා කළ හැකි බවද අතුල කරුණානායක මහතා වැඩිදුරටත් කියා සිටියි.

ඊශානදිග මෝසම සක්‍රීය වීමට හේතුව

මෙම සක්‍රීය කාලගුණික තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දිශාවෙන් පහළ වායුගෝලයේ ඇති වී ඇති කැලඹිලි ස්වභාවයයි. සාමාන්‍යයෙන් ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ මෙම තත්ත්වය පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මෙම කැලඹිලි ස්වභාවය බෙංගාල බොක්කේ, දිවයිනට ඈතින් වූ ගිනිකොණ දිග දිශාවේ අන්දමන් දූපත් ආසන්නයේ පවතින අතර, එය ඊශානදිග මෝසමේ සක්‍රීයභාවය තවදුරටත් තීව්‍ර කර තිබේ.

ධීවර සහ නාවික ප්‍රජාවට විශේෂ අවධානයක්

මෙම කාලගුණික බලපෑම හේතුවෙන් දෙසැම්බර් 9 වනදායින් පසුව මුහුද රළු විය හැකි බවට අනතුරු අඟවන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා, ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටින ලෙසටයි.

Post a Comment

0 Comments