Ticker

6/recent/ticker-posts

ආපදා සහන සඳහා රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක්: පාර්ලිමේන්තුව හෙට සහ අනිද්දා රැස්වෙයි

 

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය සුවිශේෂී පියවරක් ගෙන තිබේ. අග්‍රාමාත්‍යවරියගේ විශේෂ ඉල්ලීමකට අනුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 යටතේ හෙට (දෙසැම්බර් 18) සහ අනිද්දා (දෙසැම්බර් 19) යන දෙදින තුළ පාර්ලිමේන්තුව විශේෂයෙන් රැස්වීමට තීරණය කර ඇත. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ.

මෙහි ප්‍රධානතම අරමුණ වන්නේ ආපදා තත්ත්වයෙන් අඩාල වූ ජනජීවිත නංවාලීම සඳහා 2026 වර්ෂයට අදාළව රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කර ගැනීමයි. ඒ අනුව හෙට (18) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර, මෙම ඇස්තමේන්තුව සභාගත කිරීමෙන් අනතුරුව එය රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කිරීමට නියමිතව ඇත.

මීට අමතරව, හෙට දිනයේදී රටේ පවතින වර්තමාන ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳව ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන කල්තැබීමේ විවාදය පැවැත්වේ. මෙම විවාදය පස්වරු 5.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, එහිදී පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂිතය.

ලබන 19 වැනි සිකුරාදා ද පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. එදින රුපියල් බිලියන 500 ක අදාළ පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදය පවත්වා එය අනුමත කර ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

Post a Comment

0 Comments