ලෝක වාසී ක්‍රිකට් ලෝලීන් මහත් නොඉවසිල්ලෙන් බලා සිටින 10 වන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ උණුසුම දැන් නිල වශයෙන්ම ආරම්භ වී තිබේ. මෙවර තරගාවලියේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවල් දෙකෙහි සම සත්කාරකත්වයෙන් මෙය පැවැත්වීමයි. මෙම සහෝදරත්වය සහ සංස්කෘතික බැඳීම ලොවට විදහා දක්වමින්, තරගාවලියේ ජයග්රාහකයින්ට පිරිනමන රන් කුසලානය ආසියාව පුරා රැගෙන යාමේ නිල චාරිකාව ඉන්දු - ලංකා දේශ සීමාව යා කරන ඓතිහාසික "ආදම්ගේ පාලම" හෙවත් "රාම් සේතු" පරිශ්‍රයෙන් ආරම්භ කිරීම කාගේත් අවධානයට යොමු වී ඇත.
මෙම අභිමානවත් කුසලාන චාරිකාව ආසියාවේ රටවල් රැසක සංචාරය කිරීමට නියමිතය. ඒ අනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට අමතරව කටාර්, ඕමානය, නේපාලය, බහරේනය සහ මොන්ගෝලියාව වැනි රටවල ක්‍රිකට් ලෝලීන්ට ද මෙම කුසලානය දැක බලා ගැනීමේ දුර්ලභ අවස්ථාව හිමිවේ. මෙය හුදෙක් ක්‍රීඩා ඉසව්වක් පමණක් නොව, ආසියානු කලාපය තුළ ක්‍රිකට් ක්‍රීඩාව හරහා ගොඩනැගෙන සහජීවනයේ සංකේතයක් ලෙස ද හැඳින්විය හැකිය.
ලබන වසරේ පෙබරවාරි 07 වනදා සිට මාර්තු 08 වනදා දක්වා දින 29ක් පුරා පැවැත්වෙන මෙවර ලෝක කුසලානය සඳහා ලොව දක්ෂතම කණ්ඩායම් 20ක් තරග වැදීමට සුදුසුකම් ලබා සිටී. තරගාවලිය ඉන්දියාවේ ක්‍රීඩාංගණ පහක සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ තුනකදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව ක්‍රිකට් ලෝලීන්ට උද්වේගකර අත්දැකීමක් ලබා දෙමින් අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය, චෙන්නායි, දිල්ලි, මුම්බායි සහ කොල්කටා යන ඉන්දීය නගරවලත්, ශ්‍රී ලංකාවේ කොළඹ ආර්. ප්‍රේමදාස, එස්.එස්.සී සහ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණවලත් තරගාවලියේ උණුසුම විහිදී යනු ඇත.

0 Comments