Ticker

6/recent/ticker-posts

ජන හදවත් දිනූ කත්නෝරුවේ සිරිධම්ම හිමි: දුෂ්කර ගමනකින් ඇරඹි සම්බුදු සසුනේ නව ප්‍රබෝධය

 

වර්තමානයේ ලංකාව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති නාමයක් වන්නේ කත්නෝරුවේ සිරිධම්ම හිමියන්ගේ නාමයයි. ගනේවැව පුරාණ විහාර භූමිය අද වන විට දහස් සංඛ්‍යාත ජනතාවකගේ වන්දනාවට පාත්‍ර වන පුදබිමක් බවට පත්ව ඇත්තේ උන්වහන්සේගේ ආකර්ෂණීය ධර්ම දේශනා සහ නිහතමානී පිළිවෙත නිසාමය. දහස් ගණන් බැතිමතුන් සහ වාහන පෝලිම් මධ්‍යයේ වුවද, තමන් හමුවීමට පැමිණෙන සැමට "සුවපත් වේවා" යැයි පවසමින් සිනහවෙන් සංග්‍රහ කරන උන්වහන්සේ, කාර්යබහුලත්වය මැද වුවද සැමට තමන් වහන්සේව දැකබලා ගැනීමට අවස්ථාව සලසා දෙති. මාධ්‍යවේදීන් හමුවේ පවා ඉතා සුහදශීලී වන සිරිධම්ම හිමියෝ, සමාජයේ විවිධ තරාතිරමේ පුද්ගලයන් සමඟ එකලෙස ගනුදෙනු කරන සැබෑ යතිවරයාණන් වහන්සේනමකි.

උන්වහන්සේගේ මේ ගමන මල් පාවාඩ එලූ එකක් නොවීය. ගල්ගමුව, කත්නෝරුව වැනි අතිදුෂ්කර ගම්මානයක උපාලි බණ්ඩාර සහ ජයන්තා වන්නිනායක යුවළට දාව 1998 ජනවාරි 26 වැනිදා උපන් සංඛ ප්‍රියමන්ත කුමරු, කුඩා කල සිටම පන්සලට බෙහෙවින් ඇලුම් කළේය. දෙමාපියන්ගේ මුල් අකමැත්ත මධ්‍යයේ වුවද, 2007 වසරේදී වයස අවුරුදු නවයක් වැනි කුඩා අවධියකදී සිරිධම්ම නමින් පැවිදි දිවියට ඇතුළත් වූහ. විදුලිය හෝ ජලය පවා නොමැතිව, කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරමින් සහ සැතපුම් ගණනක් පයින් ඇවිදිමින් උන්වහන්සේ ගත කළ දුෂ්කර අතීතය, වර්තමානයේ උන්වහන්සේ ලබන ජයග්‍රහණ පිටුපස ඇති සැබෑ ශක්තියයි.

සමදරාපිටිය ශ්‍රී පාලිත විද්‍යාතනයෙන් මූලික අධ්‍යාපනය ලබා, පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ද, ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයෙන් සහ කැලණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි ද හදාරමින් උන්වහන්සේ අධ්‍යාපනයෙන් ඉහළම තලයකට පැමිණියහ. වයස අවුරුදු 11 සිටම ධර්ම දේශනා ආරම්භ කළ උන්වහන්සේ, වර්තමානයේ දෙමළ සහ මුස්ලිම් ජනතාව පවා ආකර්ෂණය කර ගනිමින් දෙස් විදෙස් රටවල් රැසක ධර්ම ප්‍රචාරක කටයුතු වල නිරත වෙති. තමන් වහන්සේ වටා රොක්වන මේ දැවැන්ත තරුණ පිරිස කිසිදු දේශපාලන අරමුණක් සඳහා යොදා නොගන්නා බව පවසන උන්වහන්සේ, තම එකම අරමුණ ධර්මය තුළින් මිනිසුන් සුවපත් කිරීම පමණක් බව අවධාරණය කරති.

සමාජ සේවය අතින් ද සිරිධම්ම හිමියෝ සුවිශේෂී මෙහෙවරක් ඉටු කරති. පසුගිය ආපදා සමයේ රුපියල් කෝටි හතරකට අධික ද්‍රව්‍යමය ආධාර බෙදා දීමට කටයුතු කළ උන්වහන්සේ, මේ වන විටත් ගනේවැව විහාරස්ථානයේ දැවැන්ත ධර්ම ශාලාවක් ඉදිකිරීමට මූලිකත්වය ගෙන සිටිති. උන්වහන්සේගේ මීළඟ මහා පුණ්‍යකර්මය වන්නේ 2026 වසරේ වෙසක් පෝය දින තරුණ තරුණියන් පනස් දහසක් සිල් සමාදන් කරවීමයි. තමන් අන් අයගේ දානයෙන් යැපෙන භික්ෂුවක බව නිතර සිහිපත් කරමින්, නිහතමානීව සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කැපවී සිටින කත්නෝරුවේ සිරිධම්ම හිමියන්ගේ ගමන අනාගත පරපුරට මහඟු ආදර්ශයකි.

Post a Comment

0 Comments