Ticker

6/recent/ticker-posts

මවගේ දොස් පැවරීම හමුවේ තරුණියක් ගිංඔයට පැන දිවි තොර කරගනී: පෙම්වතා බේරුණත් සිසුවිය දිවි ගමනට සමුදෙයි

 

වෙන්නප්පුව සහ කොච්චිකඩේ මායිම් කරමින් ගලා බසින ගිංඔයේ නයිනමඩම පාලම මතින් ඉකුත් 28 වැනිදා සවස් කාලයේදී ඔයට පැන අතුරුදන්ව සිටි 17 හැවිරිදි පාසල් සිසුවියකගේ නිසල දේහය ඊයේ (29) පෙරවරුවේ සොයා ගැනීමට හැකි වූ බව වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය තහවුරු කරයි. දිනක් පුරා ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ එක්ව සිදු කළ දැඩි සෝදිසි මෙහෙයුම්වලින් අනතුරුව, ඇයගේ සිරුර පාලම ආසන්නයේ දිය මතුපිට පාවෙමින් තිබියදී හමුවී ඇත. මෙම අවාසනාවන්ත ඛේදවාචකයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ජාඇල, බෝපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වූ උමයංගනා සත්සරණි නැමැති තරුණියකි. ඇය මියයන විට කොච්චිකඩේ පෝරුතොට ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටිමින් අධ්‍යාපනය ලබමින් සිට ඇත.

සිද්ධිය වූ දින සවස 5.30 ට පමණ තරුණිය නයිනමඩම පාලම අසලට පැමිණ ඇති අතර, ඇය විසින් සිය පෙම්වතා බව කියන තරුණයාට දුරකථනයෙන් අමතා වහාම එම ස්ථානයට පැමිණෙන ලෙස දන්වා තිබේ. ඒ අනුව සිය මිතුරෙකු සමඟ යතුරුපැදියකින් එම ස්ථානයට පැමිණි තරුණයා සමඟ ඇය විනාඩි දහයක පමණ කාලයක් කතාබස් කරමින් සිට ඇත. එම අවස්ථාවේදී තරුණියගේ මවගෙන් ඇයට දුරකථන ඇමතුමක් ලැබී ඇති අතර, නිවසට නොදන්වා පැමිණීම සම්බන්ධයෙන් මව ඇයට දැඩි ලෙස දොස් පවරා ඇත. මෙම ඇමතුමෙන් පසුව තරුණිය දැඩි ලෙස බියට සහ සිත්තැවුලට පත්ව ඇති බවත්, මව බණින නිසා තමාට නැවත නිවසට යා නොහැකි බව පවසමින් ඇය හඬා වැළපී ඇති බවත් පෙම්වතා පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.

අනතුරුව බස් නැවතුම්පොළ දෙසට ගමන් කළ තරුණිය නැවතත් පාලම දෙසට පැමිණ කිසිවෙකුත් නොසිතූ මොහොතක එකවරම ගිංඔයට පැන ඇත. ඇයව බේරා ගැනීමේ අරමුණින් 18 හැවිරිදි පෙම්වතා ද වහාම ගඟට පැන තිබේ. තමා දිය යටදී ඇයව අල්ලා ගැනීමට උත්සාහ කළද, ඇය විසින් තම අත තල්ලු කර දැමූ බව දිවි ගලවා ගත් තරුණයා පොලිසියට පවසා ඇත. එම අවස්ථාවේදී අසල හෝටලයක සේවකයින් දෙදෙනෙකු විසින් ගඟට දැමූ කඹයක ආධාරයෙන් තරුණයා දිවි බේරා ගැනීමට සමත් වුවද, තරුණිය දිය පහරට හසුවී අතුරුදන් විය.

සිද්ධියෙන් පසුව 1990 සුවසැරිය ගිලන් රථ සේවාව මගින් මාරවිල මූලික රෝහලට ඇතුළත් කළ රුමේෂ් ලක්ෂාන් නැමැති තරුණයා මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ. මියගිය තරුණියගේ මව දෙවන විවාහයක් කරගෙන සිටීම සහ පවුලේ පැවති අභ්‍යන්තර ගැටලු මෙන්ම මවගේ දොස් පැවරීම හමුවේ ඇතිවූ බිය මෙම සියදිවි නසා ගැනීමට ආසන්නතම හේතුව ලෙස පොලිසිය සැක කරයි. වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

Post a Comment

0 Comments