Ticker

6/recent/ticker-posts

මොරගහකන්ද ජලාශය වාන් දමයි: අඹන් ගඟ අසල පදිංචිකරුවන්ට අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙයි

 

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන්, මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මේ හේතුව නිසා ජලාශයේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් අද (18) රාත්‍රියේ එහි අංක 3 දරන වාන් දොරටුව විවෘත කිරීමට ව්‍යාපෘති බලධාරීන් පියවර ගෙන ඇත.

මොරගහකන්ද ජලාශයේ කාර්යභාර ඉංජිනේරුවරයා සඳහන් කළේ, දැනට අදාළ වාන් දොරටුව මීටර් 0.5ක ප්‍රමාණයකින් විවෘත කර ඇති බවයි. මේ හරහා තත්පරයට ඝන අඩි 1500ක් වැනි ජල ධාරිතාවක් ක්‍රමානුකූලව සහ අදියර කිහිපයක් යටතේ අඹන් ගඟට මුදා හැරීම සිදු කෙරේ. ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය අනුව ඉදිරියේදී මුදා හරින ජල ධාරිතාව වෙනස් විය හැකි බව ද වාර්තා වේ.

මේ හේතුවෙන් අඹන් ගඟ දෙපස සහ පහත් බිම්වල වසන ජනතාව මෙන්ම ගඟේ ජලය පරිහරණය කරන පිරිස් ද මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුය. විශේෂයෙන්ම ජල මට්ටම ඉහළ යාම නිසා ඇතිවිය හැකි අවදානම් තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වන ලෙසත්, අනවශ්‍ය ලෙස ගඟට බැසීමෙන් වළකින ලෙසත් බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Post a Comment

0 Comments