මධ්‍යම පළාත තුළ දැනට පවතින දැඩි වර්ෂාපතනය සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්, පළාතේ සියලුම පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. ඒ අනුව, හෙට (දෙසැම්බර් 19) සහ ලබන සඳුදා (දෙසැම්බර් 22) යන දින දෙකේදීම මධ්‍යම පළාතේ සියලුම පාසල් වසා තැබෙනු ඇත.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා සහ පළාත් අධ්‍යාපන බලධාරීන් අතර අද (18) පවත්වන ලද විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ. කෙසේ වෙතත්, මෙම නිවාඩුවෙන් සහ නත්තල් නිවාඩුවෙන් පසු, කලින් සැලසුම් කළ පරිදිම දෙසැම්බර් මස 29 වැනිදා නැවත පාසල් වාරය ආරම්භ කරන බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මධුපානි පියසේන මහත්මිය අවධාරණය කළාය.
කාලගුණික බලපෑම හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ හුන්නස්ගිරිය ප්‍රදේශයේ පස් කන්දක් නායයෑමේ දැඩි අවදානමක් ද මතු වී ඇත. මීට පෙර පැවති 'දිට්වා' සුළි කුණාටුවෙන් අවතැන් වූ පිරිසක් රඳවා සිටි ආරක්ෂිත මධ්‍යස්ථානයක් මෙම නායයෑමේ අවදානම සහිත කලාපයට ආසන්නව පිහිටා තිබීම විශේෂත්වයකි. මේ හේතුවෙන් එම පිරිස වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර තිබේ.
මේ අතර, මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. අද පස්වරු 2.00 වන විට ජලාශයේ ජල මට්ටම එහි උපරිම ධාරිතාවයෙන් 98.92%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඕනෑම මොහොතක වාන් දොරටු විවෘත කිරීමට ඉඩ ඇති බව කාර්යභාර ඉංජිනේරු පී.එස්. බණ්ඩාර මහතා දැනුම් දෙයි.
බෝවතැන්න ජලාශයෙන් මුදා හරින ජලය මොරගහකන්දට එක්වීම සහ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව මෙම තත්ත්වයට හේතු වී ඇත. මේ හේතුවෙන් මොරගහකන්ද ජලාශයට පහළින් පිහිටි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව, විශේෂයෙන්ම ගංගා දෙපස පදිංචිකරුවන් මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව බලධාරීන් වැඩිදුරටත් මතක් කර සිටියි.

0 Comments