දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ දරුණුතම ස්වභාවික විපත නිසා මේ රටට විශාල හානියක් සිදුවුණා. අධික වර්ෂාව හේතුවෙන් හදිසි ගංවතුර සහ නායයෑම් තත්ත්වයන් රට පුරා ඇතිවීමෙන් ජීවිත හානි, ප්‍රජාවන් අවතැන් වීම, ජීවනෝපායන් විනාශ වීම මෙන්ම අත්‍යවශ්‍ය පොදු සහ කෘෂිකාර්මික යටිතල පහසුකම් විනාශයට පත්වුණා. මෙම විනාශය නිසා රට යළි ගොඩනැගීමේ අවශ්‍යතාව මේ වන විට ප්‍රමුඛතාවක් බවට පත්ව තිබෙනවා.
මෙම තත්ත්වය යටතේ හානියට පත් වූ යටිතල පහසුකම් කඩිනමින් ගොඩනැගීම සඳහා රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අදාළ යටිතල පහසුකම් විෂය පථයන්ට අදාළව විදේශ අරමුදල් යටතේ දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල "හදිසි ප්‍රතිචාර සංරචක" (Emergency Response Components) සක්‍රීය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
විශේෂයෙන්, ලෝක බැංකු සමූහය විසින් අරමුදල් සපයනු ලබන ආයෝජන ව්‍යාපෘතිවලට ඇතුළත් මෙම හදිසි ප්‍රතිචාර සංරචකයන් සක්‍රීය කිරීමටත්, එම යෝජිත හදිසි ප්‍රතිචාර සංරචක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 92ත් 112ත් අතර මුළු මුදලක් සලසා ගැනීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
මෙම ව්‍යසනයෙන් පසු රට නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ සිට දිගු කාලීන මැදිහත් වීම දක්වා පුළුල් රාමුවක් තුළ සිදුවිය යුතුයි. ඒ සඳහා ද්වීපාර්ශ්වික සහ බහු පාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන්, ණය ලබා දෙන ආයතන සහ ලාභ අරමුණු කර නොගත් සංවිධාන ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව දැනටමත් ක්ෂණික මැදිහත්වීම් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

0 Comments