ලොව පුරා බොහෝ පිරිසක් ඉමහත් උනන්දුවෙන් බලා සිටින අමෙරිකානු 'ග්‍රීන් කාඩ්' (Green Card) හෙවත් විවිධත්ව වීසා ලොතරැයි වැඩසටහන වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ. අමෙරිකාවේ ප්රමුඛ පෙළේ අධ්‍යාපන ආයතන ද්විත්වයක සිදුවූ දරුණු වෙඩි තැබීම් මාලාවකට සම්බන්ධ සැකකරු මෙම වීසා ක්‍රමය යටතේ මෙරටට ඇතුළු වූවෙකු බව අනාවරණය වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇත.
බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ සහ MIT ආයතනයේ සිදුවූ මෙම ප්රහාරයන්ගෙන් සිසුන් දෙදෙනෙකු සහ මහාචාර්යවරයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් නව දෙනෙකු බරපතල තුවාල ලැබූහ. ප්‍රහාරයේ සැකකරු ලෙස හඳුනාගත් 48 හැවිරිදි පෘතුගාල ජාතික ක්ලෝඩියෝ නෙවෙස් වැලෙන්ටේ, පොලිස් මෙහෙයුම් අතරතුර තමාටම වෙඩි තබාගෙන මියගොස් සිටියදී සොයා ගැනුණි. පරීක්ෂණවලදී හෙළි වූයේ මොහු 2017 වසරේදී වීසා ලොතරැයිය ජයග්‍රහණය කර අමෙරිකාවේ ස්ථිර පදිංචිය ලබාගත් අයෙකු බවයි.
මෙම තත්ත්වය හමුවේ අමෙරිකානු දේශීය ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයෙම් ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයාගේ සෘජු නියෝගය පරිදි එක්සත් ජනපද පුරවැසි සහ සංක්‍රමණ සේවා (USCIS) ආයතනය විසින් මෙම වැඩසටහන තාවකාලිකව නවතා දැමූ බවයි. ජනාධිපති ට්‍රම්ප් මීට පෙර සිටම මෙම ලොතරැයි ක්‍රමයට සිය විරෝධය පළ කර තිබූ අතර, මෙම ඛේදවාචකයත් සමඟ සිය සංක්‍රමණික ප්‍රතිපත්ති තවදුරටත් දැඩි කිරීමට ඔහු තීරණය කර තිබේ.
සාමාන්‍යයෙන් සෑම වසරකම අමෙරිකාවේ අඩු නියෝජනයක් සහිත රටවල ජනතාව වෙනුවෙන් හරිත කාඩ්පත් 50,000ක් පමණ මෙම වැඩසටහන හරහා පිරිනැමේ. කෙසේ වෙතත්, වත්මන් පාලනාධිකාරිය ගත් මෙම හදිසි තීරණය නිසා ඉදිරි වසර සඳහා ග්‍රීන් කාඩ් අපේක්ෂාවෙන් සිටි දහස් සංඛ්‍යාත පිරිසකට මේ වන විට දැඩි අවිනිශ්චිතතාවයකට මුහුණ දීමට සිදුව ඇත.

0 Comments