දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සහ විනාශ වූ යටිතල පහසුකම් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම රජයේ මූලික අවධානයට යොමුව තිබේ. මෙම සුවිශේෂී කර්තව්‍යය සඳහා රුපියල් බිලියන 500ක අතිරේක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරවා ගැනීමේ පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදයට එක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතය.
පසුගිය දිනවල පැවති ගංවතුර සහ නායයෑම් ඇතුළු ආපදා තත්ත්වයන් නිසා ජන ජීවිතයට එල්ල වූ බලපෑම සුළුපටු නොවේ. මාර්ග, පාලම් ඇතුළු පොදු දේපළ රැසක් විනාශ වී ඇති අතර, ඒවා යළි ගොඩනැගීම සඳහා විශාල පිරිවැයක් දැරීමට රජයට සිදුව ඇත. මෙම පසුබිම තුළ 2026 වර්ෂයට අදාළව රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් ඊයේ (18) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
අද දින පැවැත්වෙන විවාදයෙන් අනතුරුව මෙම ඇස්තමේන්තුව සම්මත කර ගැනීමට නියමිත අතර, එමඟින් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය සහන සැලසීමටත්, අඩාල වූ සංවර්ධන කටයුතු යළි ආරම්භ කිරීමටත් අවශ්‍ය මූල්‍ය ශක්තිය රජයට හිමිවනු ඇත. රටේ වත්මන් තත්ත්වය සහ ජනතා අවශ්‍යතාවන් සලකා බලා මෙම අරමුදල් විනිවිදභාවයකින් යුතුව ජනතා සුභසිද්ධිය වෙනුවෙන් යෙදවීමට රජය අපේක්ෂා කරයි.
ජනාධිපතිවරයාගේ මෙම පාර්ලිමේන්තු පැමිණීම හරහා ආපදා සහන වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමට සහ ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අවස්ථාව සැලසෙනු ඇතැයි විශ්වාස කෙරේ.

0 Comments