ශ්‍රී ලාංකීය සිනමා ලෝලීන්ට නැවුම් අත්දැකීමක් සමීප කරමින්, සිංහල සහ දමිළ යන භාෂා ද්විත්වයෙන්ම නිර්මාණය වූ ‘අධිරන්’ චිත්‍රපටය එළඹෙන නොවැම්බර් 28 වැනිදා සිට දිවයින පුරා විසිරී ඇති සිනමා ශාලාවල ප්‍රදර්ශනය වීමට නියමිතයි. දේශීය සිනමා ක්ෂේත්‍රයේ නව මානයන් සොයා යන නිර්මාණයක් ලෙස මෙය මේ වන විටත් කාගේත් අවධානයට ලක්ව තිබේ.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා ජනප්‍රිය නළු සුදර්ශන් සහ සුරූපී නිළි මිෂෙල් දායකත්වය ලබා දෙන අතර, ඔවුන් සමඟ තවත් ප්‍රවීණ සහ දක්ෂ දමිළ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති. දිනේෂ් කනගරාජ්ගේ අධ්‍යක්ෂණයක් වන ‘අධිරන්’, ශ්‍රී ලාංකීය සිනමාව තුළ සිංහල සහ දමිළ කලාකරුවන්ගේ සුසංයෝගය මනාව පෙන්නුම් කරන සුවිශේෂී කලා කෘතියකි.
මෙම සිනමා නිර්මාණය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රධාන නිළි මිෂෙල් සඳහන් කළේ, දමිළ චිත්‍රපටයක් හරහා දමිළ සිනමාවට පිවිසීමට ලැබීම ඇගේ කලා ජීවිතයේ ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් සහ වාසනාවක් බවයි. සැබෑ සිනමාවට භාෂා භේදයක් නොමැති බවත්, සිනමාවේ එකම භාෂාව සිනමාවම පමණක් බවත් ඇය අවධාරණය කළාය. මෙතෙක් කාලයක් සිංහල නිර්මාණවලට පමණක් සීමා වී තිබූ දේශීය ප්‍රේක්ෂකයාට, මෙවැනි දමිළ නිර්මාණ දායාද වීම සිනමාවේ ඉදිරි ගමනට මහත් ශක්තියක් බව ඇයගේ විශ්වාසයයි.
ශ්‍රී ලාංකේය සිනමා වංශකතාවේ නව පිටුවක් පෙරලීමට සූදානම් වන ‘අධිරන්’, භාෂාමය බාධක බිඳ දමමින් සහෝදරත්වය සහ කලාත්මක ගුණය පෙරදැරිව ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙනු ඇත. නොවැම්බර් 28 වැනිදා සිට ඔබේ ළඟම ඇති සිනමා ශාලාවේදීම මෙම අපූර්ව අත්දැකීම විඳගැනීමට ඔබට අවස්ථාව හිමිවේ.





0 Comments