Ritz Carlton හෝටල් ජාලයට අයත් අති සුඛෝපභෝගී මගී නෞකාවක් සංචාරකයින් 400 දෙනෙකු සමඟ අද (දෙසැම්බර් 14) දින කොළඹ වරායේ මගී නෞකා අංගනයට සේන්දු විය. මෙම දැවැන්ත නෞකාවේ පැමිණීම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වෙත ලැබුණු විශාල ජයග්‍රහණයක් ලෙස සැලකේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යම් අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දෙමින් සිටින මොහොතක, මෙවැනි විශාල සුඛෝපභෝගී නෞකාවක් මෙරටට පැමිණීම, සමස්ත සංචාරක කර්මාන්තයටම මහත් පිටිවහලක් සහ නව බලාපොරොත්තුවක් සපයන බවයි.
මෙම වැදගත් අවස්ථාව සනිටුහන් කිරීමට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා, සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් පැමිණ සිටියහ. නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී නෞකාවේ කාර්ය මණ්ඩලය සමඟ සුහද කතාබහක නිරත වූ අතර, නෞකාවේ නිරීක්ෂණ චාරිකාවකටද එක් විය. එමෙන්ම, මේ හා සම්බන්ධව සමරු පලක හුවමාරු කිරීමක්ද සිදු කෙරුණි.
දින දෙකක කාලයක් මෙම සුඛෝපභෝගී නෞකාව ශ්‍රී ලංකාවේ නැංගුරම්ලා තිබෙන අතර, හෙට දිනයේදී (දෙසැම්බර් 15) මෙම සංචාරකයින් පිරිස ගාල්ල වරායටද පැමිණීමට නියමිතව තිබේ. මෙවැනි අති සුඛෝපභෝගී යාත්‍රා ලංකාවට පැමිණීම දේශීය සංචාරක කර්මාන්තයේ ප්‍රගතිය විදහා දක්වන වැදගත් සාධකයක් වන බව නිලධාරීන්ගේ අදහස විය.

0 Comments