Ticker

6/recent/ticker-posts

මහනුවර සහ නුවරඑළියට නායයෑමේ රතු නිවේදන: ඔබත් මේ ප්‍රදේශවල අයෙක්ද? අවදානයෙන් සිටින්න!

 

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාපතනයත් සමඟ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑමේ දැඩි අවදානමක් මතුව තිබේ. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නිකුත් කරන ලද නවතම දත්තයන්ට අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයට මේ වන විටත් මිලිමීටර් 200 ඉක්මවූ ඉතා තද වර්ෂාපතනයක් ලැබී ඇත.

මේ හේතුවෙන් උඩදුම්බර ඇතුළු ප්‍රදේශ කිහිපයක නායයෑමේ මූලික ලක්ෂණ පහළ වෙමින් පවතින බව භූ විද්‍යාඥයින් පෙන්වා දෙයි. පවතින අයහපත් කාලගුණික තත්ත්වය සලකා බලා, නායයෑමේ රතු නිවේදන හෙවත් "ඉවත්වීමේ නිවේදන" දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ක් සඳහා මේ වන විටත් නිකුත් කර තිබේ.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, උඩදුම්බර, මැදදුම්බර සහ මිනිපේ යන කොට්ඨාසවලටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, හඟුරන්කෙත, නිල්දණ්ඩාහින්න සහ මතුරට යන ප්‍රදේශවලටත් මෙම දැඩි අවදානම් නිවේදනය බලපැවැත්වේ. මෙම ප්‍රදේශවල ජීවත් වන ජනතාව අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන්වලින් වැළකී සිටීමත්, අවදානම් කලාපවලින් බැහැරව ආරක්ෂිත ස්ථාන කරා යොමු වීමත් අතිශයින්ම වැදගත් වේ.

විශේෂයෙන්ම, ඔබේ නිවසේ හෝ ගොඩනැඟිලිවල අලුතින් ඇති වූ ඉරිතැලීම්, බිත්ති හෝ පොළොව පැලීම් වැනි නායයෑමේ පූර්ව ලක්ෂණ ඇත්නම්, එම ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙස ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා අවධාරණය කරයි. පසෙහි සංතෘප්ත භාවය වැඩිවීම නිසා ඕනෑම මොහොතක කණ්ඩි කඩාවැටීම් හෝ නායයෑම් සිදු විය හැකි බැවින්, ජීවිත ආරක්ෂාව පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Post a Comment

0 Comments