දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අඛණ්ඩව ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟ ආශ්‍රිත පහළ නිම්න ප්‍රදේශවලට දැඩි ගංවතුර අවදානමක් මතුව තිබේ. පවතින මෙම අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, පින්බර සෝමාවතී පුදබිම වෙත දිවෙන මාර්ගය නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දැමීමට පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පියවර ගෙන ඇත. මාර්ගය ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බැවින් බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බව එම ඒකකයේ සහකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඉහළ ප්‍රදේශවල පිහිටි ප්‍රධාන ජලාශ රැසක් මේ වන විටත් වාන් දැමීමට පටන් ගැනීමයි. විශේෂයෙන්ම වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැඹේ යන ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති අතර, රන්ටැඹේ ජලාශයෙන් මිණිපේ අමුණ හරහා මහවැලි ගඟට මුදාහරින ජල ප්‍රමාණය ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බව මහවැලි අධිකාරිය පවසයි. මීට අමතරව ලොග්ගල් ඔය, දියබානා ඔය, හෑපොල ඔය සහ උල්හිටිය වැනි ජලාශවල වාන් ජලයත්, බදුළු ඔයේ ජල ධාරිතාවත් සෘජුවම මහවැලි ගඟට එක්වීම හේතුවෙන් පහළ නිම්නයේ වෙසෙන ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මේ අතර, කලාවැව ද්‍රෝණියට අයත් කලාවැව සහ කණ්ඩලම ජලාශ ද මේ වන විටත් වාන් දමමින් පවතින බව වාර්තා වේ. මාදුරුඔය ජලාශය ද සිය උපරිම ජල මට්ටමට ළඟා වී ඇති අතර, බෝවතැන්න, ඉබ්බන්කටුව, මොරගහකන්ද සහ කළුගඟ යන ජලාශවල ජල මට්ටම ද පවතින්නේ උපරිම සීමාවේය. ඉදිරි පැය කිහිපය තුළ එම පෝෂිත ප්‍රදේශවලට තවදුරටත් වර්ෂාව ලැබුණහොත් එම ජලාශවල ද වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බව බලධාරීන් පෙන්වා දෙයි.
පවතින මෙම ආපදා තත්ත්වය හමුවේ ගංගා ආශ්‍රිතව වෙසෙන ජනතාව සහ පහත්බිම්වල වෙසෙන පිරිස් බලධාරීන් ලබාදෙන උපදෙස් පිළිපදිමින්, ඉතා ආරක්ෂිතව සහ අවධානයෙන් පසුවීම අත්‍යවශ්‍ය වේ.

0 Comments