ගත වූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට යම් පමණක වැසි ඇද හැළුණද, ප්‍රධාන ගංඟාවල ජල මට්ටම අවදානම් මට්ටමකින් වැඩි වීමට තරම් තත්ත්වයක් මතුව නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෙසේවෙතත්, පවතින තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් දැඩි අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ, ඉංජිනේරු එල්. එස් සූරියබණ්ඩාර මහතා ජනතාවට දැනුම් දුන්නේය.
නායයෑම් අවදානම සහිත ප්‍රදේශවල පදිංචිකරුවන් සිය දේපළවලට වඩා ජීවිත ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) අවධාරණය කරයි. අවදානම් ස්ථාන නැවත පරීක්‍ෂාවට ලක් කරමින්, දැනට නිවාසවලින් ඉවත්ව සිටින ජනතාවට තම නිවාස කරා යාමට පහසුකම් සැලසීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව එම ආයතනයේ නායයෑම් පර්යේෂණ අංශයේ අධ්‍යක්‍ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා පැවසීය.
මේ අතර, මෑතකදී දිවයින පුරා දැඩි බලපෑම් එල්ල කළ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ ආපදාවලින් මියගිය බවට තහවුරු කරගෙන ඇති පුද්ගලයින් ගණන 486ක් දක්වා ඉහළ ගොස් තිබේ. තවත් 341 දෙනෙකු අතුරුදන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සඳහන් කළේය. මුළුමනින්ම ආපදාවට ලක්ව සිටින පුද්ගලයින් ගණන 1,844,058ක් වන අතර, පුද්ගලයන් 171,778ක් තවදුරටත් ආරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින බව DMC තවදුරටත් සඳහන් කළේය.
මෙම ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ දේපළ හානි පිළිබඳව නිවාස සංවර්ධන අධිකාරිය මගින් සිදු කළ සමීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී ඇත. ඒ අනුව, නිවාස 2,303ක් පූර්ණ හානියට පත්ව ඇති අතර නිවාස 52,489ක් අර්ධ වශයෙන් හානියට පත්ව තිබේ.

0 Comments