නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථානයක් අසලදී මෝටර් රථයක සිටි විවාහක කාන්තාවකට හිරිහැර කරමින්, ඇයගේ රථයට බලහත්කාරයෙන් ගොඩවූ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එරෙහිව නාරාහේන්පිට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ. මෙලෙස චෝදනා එල්ල වී ඇත්තේ සමගි ජන බලවේගය නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරයෙකුට වීම විශේෂත්වයකි.
පසුගිය 17 වැනිදා මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ කොළඹ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික සමාගමක විධායක ශ්‍රේණියේ නිලධාරිනියකි. ඇය ව්‍යායාම මධ්‍යස්ථානයට පැමිණ සිය මෝටර් රථයේ රැඳී සිටි අවස්ථාවේදී අදාළ මන්ත්‍රීවරයා එතැනට පැමිණ ඇත. රථයේ වීදුරුවට තට්ටු කර තමා සමඟ කතා කරන ලෙස ඔහු ඇයට පවසා ඇති බවත්, ඒ මොහොතේ තමාට ඔහු සමඟ කතා කිරීමට අවශ්‍යතාවක් නොමැති බැවින් කරදර නොකරන ලෙස ඇය ඉල්ලා ඇති බවත් පොලිස් වාර්තාවල සඳහන් වේ.
කෙසේ වෙතත්, ඇයගේ විරෝධය නොතැකූ මන්ත්‍රීවරයා රථයේ දොර විවෘත කරගෙන බලහත්කාරයෙන් ඇය අසල අසුන්ගෙන තිබේ. එහිදී ඔහු ඇයගෙන් දිගින් දිගටම විමසා ඇත්තේ තමා සමඟ කතා නොකරන්නේ මන්ද යන්නයි. මෙම හදිසි සහ අනපේක්ෂිත සිදුවීම නිසා තමා දැඩි ලෙස කම්පනයට හා බියට පත් වූ බව අදාළ කාන්තාව ප්‍රකාශ කර තිබේ. ඇයගේ දැඩි ඉල්ලීම මත පසුව මන්ත්‍රීවරයා රථයෙන් බැස පිටව ගොස් ඇත.
පැමිණිලිකාරිය පවසන පරිදි, ඇයගේ දරුවා සහ මන්ත්‍රීවරයාගේ දරුවන් එකම පාසලක ඉගෙනුම ලබන බැවින් ඇය මන්ත්‍රීවරයාව හඳුනන්නීය. මීට පෙරද අවස්ථා කිහිපයකදී මන්ත්‍රීවරයා ඇයට දුරකථන ඇමතුම් ලබා දෙමින් හිරිහැර කිරීමට උත්සාහ කර ඇති බවත්, ඒ හේතුවෙන් ඇය ඔහුගේ දුරකථන අංක කිහිපයක්ම "Block" කිරීමට පියවර ගෙන ඇති බවත් අනාවරණය විය.
මෙම අනිසි බලපෑම්වලින් තමාට මින් ඉදිරියට ආරක්ෂාව සලසා දෙන ලෙසත්, මන්ත්‍රීවරයා කැඳවා ඔහුට අවවාද කරන ලෙසත් ඇය පොලිසියෙන් ඉල්ලා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන නාරාහේන්පිට පොලිසිය, පැමිණිල්ල විභාග කිරීම සඳහා මන්ත්‍රීවරයා සහ අදාළ කාන්තාව ඉදිරි දිනකදී පොලිස් ස්ථානයට කැඳවීමට නියමිතය.
0 Comments