රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එකිනෙකා කෙරෙහි සැකයෙන් හෝ අවිශ්වාසයෙන් බැලීමෙන් නොව, පොදු අරමුණක් වෙනුවෙන් සියලු දෙනා තමන්ට පැවරී ඇති වගකීම් නිසි ලෙස ඉටු කිරීමෙන් පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පැවැති 100 වන කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ සහ විසිර යාමේ පෙළපාලියට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ඉතිහාසයේ අප සතු වූ ඒ උදාර අභිමානය සහ ගෞරවය යළි දිනාගත් මාතෘ භූමියක් නිර්මාණය කිරීම වෙනුවෙන් රජය, ආගමික සංස්ථාවන්, ආරක්ෂක අංශ සහ පොදු ජනතාව යන සියලු පාර්ශවයන් ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
අතීතයේදී ශ්‍රී ලංකාව ඉතා විශිෂ්ට උරුමයකට හිමිකම් කීවද, පසුගිය දශක කිහිපය තුළ රට සෑම අතින්ම බිඳ වැටීමකට ලක් වූ බව ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය. ආර්ථිකය, රාජ්‍ය යාන්ත්‍රණය පමණක් නොව මිනිස් සබඳතා පවා පළුදු වී තිබූ යුගයක් පසුකර පැමිණි අපට, දැන් පැවරී ඇති ප්‍රධානතම වගකීම වන්නේ ලෝකයේ උසස් වටිනාකම් සහිත රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව යළි පරිවර්තනය කිරීමයි. දේශපාලනය යනු මහජන ධනය රැස්කරන වෘත්තියක් නොව, ජනතාවට සේවය කරන ගෞරවනීය මෙහෙවරක් බවට පත් කිරීමට තම රජය කැපවී සිටින බවත්, නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් ශක්තිමත් ආර්ථික යාන්ත්‍රණයක් සකස් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙවර දියතලාව යුද හමුදා විද්‍යා පීඨයෙන් කෙඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන් 240 දෙනෙකු විසිර ගිය අතර, ඒ අතරට විදේශීය රටවල නිලධාරීන් අට දෙනෙකු ද ඇතුළත් වීම විශේෂත්වයකි. යුද හමුදා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පැවැති මෙම උත්සවයේදී දක්ෂතම කෙඩෙට් කණ්ඩායම් වෙත ශූරතා ධජ සහ සම්මාන පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය. ශ්‍රී ලංකා යුද හමුදාව සෑම අසීරු අවස්ථාවකදීම රට වෙනුවෙන් දක්වන දායකත්වය අගය කළ ජනාධිපතිවරයා, විශේෂයෙන් මෑතකදී ඇති වූ සුළි කුණාටු ව්‍යසනයේදී ජනතාව මුදා ගැනීමට ඔවුන් කළ කැපවීම වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළේය.
නව නිලධාරීන් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ඔවුන් ලබාගත් මෙම අධිකාරිය තම ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් මෙන්ම විශාල වගකීමක් ද වන බවයි. රටේ සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ගෞරවය ආරක්ෂා කරමින්, වෘත්තීමය භාවයෙන් යුතුව කටයුතු කරන ලෙස ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. තම දරුවන් රටේ වගකීම කරට ගෙන අභිමානයෙන් යුතුව සිටිනු දැකීම දෙමාපියන්ට මහත් ආඩම්බරයක් බවත්, එම ගෞරවය රැකගෙන උත්තුංග මෙහෙවරක නිරත වීම නිලධාරීන්ගේ වගකීමක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
අවසාන වශයෙන්, කිසිදු අභියෝගයක් හමුවේ නොසැලී, තිර අදිටනින් යුතුව එක්ව වැඩ කළහොත් ඉතා ඉක්මනින් අපේක්ෂිත දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගිය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා, ආරක්ෂක ලේකම් ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් මෙන්ම විසිර යන නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

0 Comments