ආපදා තත්ත්වයන් හේතුවෙන් ඉදිරියේදී රට තුළ සහල් හිඟයක් මතුවීමේ හැකියාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කරයි.
ගල්නෑව ප්‍රදේශයේ ගංවතුරින් හානි වූ කුඹුරු යළි අස්වැද්දීමේ අවස්ථාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී ඔහු පැහැදිලි කළේ, ඇතැම් අවස්ථාවල සහල් ආනයනය කිරීමට සිදු වූයේ රටේ සමස්ත සහල් හිඟයක් නිසා නොව, විශේෂිත සහල් වර්ග වගා කිරීමේ ප්‍රමාණයේ වෙනස්කම් හේතුවෙන් බවයි.
අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, යළි නැගී සිටීම පිළිබඳ දැවැන්තම අත්දැකීම ඇත්තේ ගොවි ජනතාවට වන බැවින්, සිදුව ඇති විනාශය හමුවේ වුව ද ගොවීන් නැවත වගා කටයුතු ආරම්භ කිරීම ගැන කිසිදු සැකයක් නොමැති බවයි.
"මේ විනාශය වෙච්ච ගමන් අපේ හිතට එකපාර ආවේ ගොවියෝ වගා කරනවා ප්‍රශ්නයක් නෑ. හැබැයි බිත්තර වී ප්‍රශ්නයක් එන්න පුලුවන් කියලා. හැබැයි බිත්තර වී ගැන කොහෙවත් සාකච්ඡාවක් ඇත්තේම නෑ. ඒ නිසා කවුරු හරි හිතන් ඉන්නවා නම් ඉදිරියේ දී සහල් ප්‍රශ්නයක් එයි කියලා, එහෙම ප්‍රශ්නයක් නෑ."
පසුගිය දිනවල කිරී සම්බා යම් ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදු වූයේ ද, එම විශේෂිත සහල් වර්ගය වගා කරන ප්‍රමාණයේ අඩුවක් නිසාවෙන් මිස, සමස්තයක් ලෙස රට තුළ සහල් හිඟයක් පැවතීම නිසා නොවන බව ඇමතිවරයා පැහැදිලි කළේය.
ඉදිරි කන්නයේ සැලසුම් සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ අමාත්‍යවරයා, වගා කරන නාඩු හැරුණු විට, අනෙකුත් අස්වනු සඳහා වැඩි මිලක් ලබා දීම සම්බන්ධයෙන් මේ වන විටත් අවධානය යොමුව ඇති බව සඳහන් කළේය.

0 Comments