ලෝකයේ ප්‍රමුඛතම බිලියනපතියෙකු වන එලොන් මස්ක්ට අයත් ඇමරිකානු සමාගමක් වන ස්ටාර්ලින්ක් (Starlink), ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු ශක්තිමත් කිරීමේ අරමුණින් වැදගත් පරිත්‍යාගයක් සිදු කර තිබේ. එමගින් ස්ටාර්ලින්ක් අන්තර්ජාල සම්බන්ධතා ඒකක (hardware units) 100ක් මෙරට ආපදා මෙහෙයුම් සඳහා පරිත්‍යාග කර ඇත.
මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය අවධාරණය කරන්නේ මෙම පරිත්‍යාගය, මෙරට ආපදා මෙහෙයුම් සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා විශාල පිටිවහලක් වනු ඇති බවයි. විශේෂයෙන්ම, ස්ටාර්ලින්ක් උපකරණ මඟින් හදිසි ආපදා තත්ත්වයන්හිදී අත්‍යවශ්‍ය වන සන්නිවේදන හා සම්බන්ධතා පහසුකම් පුළුල් කිරීමට හැකි වනු ඇත.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂන සූරියප්පෙරුම මහතා පෙන්වා දුන්නේ, මෙම නවීන උපකරණ භාවිතය තුළින් ආපදා සහන සේවා සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායීව සිදු කිරීමට අවස්ථාව උදා වන බවයි. එමඟින් ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා කාලෝචිත හා නිවැරදි තීරණ ගැනීමට අදාළ අංශවලට සහාය ලැබෙනු ඇත.
ලේකම්වරයා පසුගියදා (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, අදාළ දෘඩාංග ඒකක මේ වන විටත් දිවයිනට ළඟා වී ඇති බවයි. ආපදා ප්‍රතිචාර දැක්වීමේ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා, මෙම උපකරණ කඩිනමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) වෙත භාර දීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
මෙම පරිත්‍යාගය, ස්ටාර්ලින්ක් සමාගම ශ්‍රී ලංකාවේ ආපදා සහන කටයුතු වෙනුවෙන් දක්වන ලද දෙවැනි සහායයි. මීට පෙර, රට තුළ ආපදා තත්ත්වයක් ඇති වූ අවස්ථාවකදී, ස්ටාර්ලින්ක් විසින් එහි දැනට සිටින ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් වෙත මාසයක බිල නිදහස් කිරීමක් සිදු කරමින් ද ආපදා තත්ත්වය හමුවේ සහයෝගය දක්වා තිබුණි.

0 Comments