'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙරට උඩරට දුම්රිය මාර්ගයට දැඩි හානි සිදු වූ අතර, ඒ හේතුවෙන් මාසයකට ආසන්න කාලයක් බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාල වී තිබුණි. මේ වන විට මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර ඇති බැවින්, දින 23කට පසු හෙට (දෙසැම්බර් 20) සිට එම මාර්ගයේ ගමනාගමන කටයුතු යළි ආරම්භ කිරීමට නියමිත බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය නිල වශයෙන් නිවේදනය කර සිටියි.
මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් හෙට සෙනසුරාදා පෙරවරු 8.00ට Class S14 බලවේග කට්ටලයක් සහිත විශේෂ 'උඩරට මැණිකේ' (SPL 1016) දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානයෙන් අඹේවෙල බලා ගමන් ආරම්භ කිරීමට නියමිතය. මෙය හුදෙක් සාමාන්‍ය ගමනක් නොව, ස්වභාවික ආපදාවෙන් පසු උඩරට දුම්රිය සේවය යළි නගා සිටුවීම සංකේතවත් කරන "නැගිටීමේ ගමනක්" ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව හඳුන්වා දෙයි.
හෙට දින ධාවනය වන මෙම විශේෂ දුම්රිය පෙරවරු 8.00ට බදුල්ලෙන් පිටත් වී, පෙරවරු 9.15ට දෙමෝදර දුම්රිය ස්ථානය පසු කිරීමට නියමිතය. අනතුරුව එය පෙරවරු 9.40ට ඇල්ල දුම්රිය ස්ථානයටත්, පෙරවරු 10.20 වන විට දියතලාව දුම්රිය ස්ථානයටත් ළඟා වීමට කාලසටහන් සකස් කර ඇත.
මෙම සුවිශේෂී මංගල ගමන සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මෙන්ම සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්වීමට නියමිතව තිබේ. උඩරට දුම්රිය මාර්ගය යළි විවෘත වීමත් සමඟ ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට සහ ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමට යළිත් මහත් පිටුවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

0 Comments