ලොව පුරා මහත් ආන්දෝලනයකට තුඩුදුන් බල්ගේරියානු ජාතික අන්ධ දෛවඥවරියක වූ බාබා වැන්ගා, 2026 වසර සම්බන්ධයෙන් පළ කර ඇති අලුත්ම අනාවැකි පිළිබඳව මේ වන විට විදෙස් මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. ඇයට අනුව 2026 වසර යනු මිනිස් සංහතිය සිය සදාචාරාත්මක සහ තාක්ෂණික සීමාවන් ඉක්මවා ගොස් ඇති බව තේරුම් ගන්නා තීරණාත්මක සංධිස්ථානයකි. මෙය එක් ක්ෂණික සිදුවීමකට වඩා, ගෝලීය වශයෙන් ඇති වන නොසන්සුන්තා සහ විද්‍යාත්මක සොයාගැනීම් රැසක ප්‍රතිඵලයක් ලෙස ලෝකයාට අවබෝධ වනු ඇති බව ඇය පවසා ඇත.
විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI) වැනි දියුණු තාක්ෂණයන් පිළිබඳව ඇය කර ඇති ප්‍රකාශ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබේ. ඇයගේ අනාවැකිවලට අනුව 2026 වන විට තාක්ෂණය කෙතරම් ප්‍රබල වනු ඇත්ද යත්, එය මිනිස් ජීවිත පාලනය කරන මට්ටමට වර්ධනය වනු ඇත. මීට අමතරව 2025 වසරේ ඇරඹෙන ලෝක ආර්ථික අර්බුදය 2026 වසර දක්වාම දරුණු ලෙස පවතිනු ඇති බවත්, එමගින් ගෝලීය මූල්‍ය පද්ධතියට විශාල බලපෑමක් එල්ල වන බවත් ඇයගේ දර්ශනයන් මගින් පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත්, ඇයගේ අනාවැකි අතර යහපත් බලාපොරොත්තු ද සුළුවෙන් පවතී. වෛද්‍ය විද්‍යාවේ දියුණුව පිළිබඳව සඳහන් කරමින් ඇය පවසා ඇත්තේ, 2026 වන විට ලොව අවම වශයෙන් එක් ප්‍රධාන රටක හෝ පිළිකා රෝගය කල්තියා හඳුනාගත හැකි රුධිර පරීක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඉඩ ඇති බවයි. මෙය සෞඛ්‍ය ක්ෂේත්රයේ විශාල පිම්මක් වුවද, එහි පිරිවැය අධික වීම නිසා ඇතැම් සමාජ කණ්ඩායම්වලට පමණක් එහි වාසිය හිමිවීමේ අවදානමක් පවතින බවද ඇය සඳහන් කර ඇත. එසේම, 2046 වන විට කෘත්‍රිම අවයව මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳවද ඇය සිය අතීත අනාවැකි මගින් පෙන්වා දී තිබේ.
භූ දේශපාලනික තත්ත්වය පිළිබඳව බාබා වැන්ගාගේ අනාවැකි වඩාත් බියකරු ස්වරූපයක් ගනී. නැගෙනහිරින් ඇරඹෙන යුද්ධයක් බටහිර ලෝකය විනාශ කරමින් ව්‍යාප්ත වනු ඇති බවත්, මෙම ගැටුම් හමුවේ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ලෝක නායකයෙකු ලෙස නැගී සිටිනු ඇති බවත් ඇයගේ අනුගාමිකයෝ විශ්වාස කරති. දැනට පවතින ඊශ්‍රායල සහ පලස්තීන ගැටුම් තවදුරටත් ව්‍යාප්ත වී 2026 වසරේදී එය තෙවන ලෝක යුද්ධයක් දක්වා ඇවිලී යාමට ඉඩ ඇති බවටද ඇය අනතුරු අඟවා තිබීම විශේෂත්වයකි.
1996 වසරේදී පියයුරු පිළිකාවකින් මියගිය වැන්ජෙලියා පාන්ඩේවා ගුෂ්තෙරෝවා හෙවත් බාබා වැන්ගා, වසර 5079 දක්වා විහිදෙන අනාවැකි දහස් ගණනක් ලෝකයට ඉතිරි කර ගොස් ඇත. ඇයගේ අනාවැකි පිළිබඳව ලිඛිත සාක්ෂි නොමැති වුවද, ඇයගේ ඥාතීන් හරහා මේවා වර්තමානයට පැමිණ තිබේ. 9/11 ප්‍රහාරය සහ ඩයනා කුමරියගේ මරණය වැනි ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ සිදුවීම් ඇය නිවැරදිව ප්‍රකාශ කළ බව ආධාරකරුවන් පවසද්දී, විචාරකයින් පවසන්නේ ඇයගේ ප්‍රකාශ ඕනෑම ආකාරයකට අර්ථකථනය කළ හැකි පුළුල් ඒවා පමණක් බවයි. කෙසේ වුවද, 2026 වසරේ ලෝක ඉරණම ඇය කී පරිදිම සිදුවේද යන්න කාලය විසින්ම තීරණය කරනු ඇත.

0 Comments